slider

Thursday, July 24, 2014

එදා රජා අද හිඟන්නා..

තේ අපනයනයෙන් ලත් සෙස් බදු අරමුදල තේ නිෂ්පාදනය නගා සිටුවීමට නොයොදා වෙනත් කාර්යයන් සඳහා යොදවූ මහා භාණ්ඩාගාරයේ ආර්ථික ඝාතකයන්, ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් කාටත් අත නොපා රජකු සේ ජීවත් වූ කුඩා තේ වතු හිමියා අද හිගන්නකු බවට පත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පසු ගිය  23 වන දින කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.



‘කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇති ප‍්‍රධානතම ගැටලූ දෙකක් ඔබ හමුවේ තැබීමටයි මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ. අපි රට හමුවේ දිගින් දිගටම පෙන්වා දුන්නා ආර්ථික ඝාතකයන් මේ රටේ ආර්ථිකය බිඳ වැට්ටවීම සඳහා ක‍්‍රියා කරන අන්දම. කුඩා තේ වතු හිමියන් අද අප මේ පෙන්වා දෙන ගැටලූකාරී තත්ත්වයට ඇද දමනු ලැබුවේ ඒ ඉහත කී ආර්ථික ඝාතකයන් විසින්මයි.

තේ කර්මාන්තය මේ රටට විදේශ විනිමය ලබා දෙන ප‍්‍රධානතම මාධ්‍යයක්. මෙරට තේ නිෂ්පාදනයේදී වැඩි දායකත්වයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන්. ඔවුන් මේ රටට විදේශ විනිමය උපයා දීමට විශාල දායකත්වයක් සපයනවා. අපනයනය කරනු ලබන සෑම තේ කිලෝ ග‍්‍රෑමයක් සඳහාම 8% – 20% අතර සෙස් බද්දක් පනවලා ඉන් ලැබෙන මුදලින් තමයි, තේ පර්යේෂණ ආයතනය, තේ මණ්ඩලය, පවත්වා ගෙන ගියේ. ඒ විතරක් නොවෙයි, මෙරට තේ වගාව නගා සිටුවීම සඳහා අවශ්‍ය සියලූ මූල්‍ය දායකත්වය සපයනු ලැබුවේත් එම සෙස් බද්ද මගින් ලැබුණු මුදලින්.

නමුත් 2009 සිට මේ සෙස් බද්දෙන් ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමට පියවර ගත්තා. ඒ පියවර ආර්ථික ඝාතක පියවරක්. අද වන විට සෙස් බද්දෙන් ලැබෙන මුදල යන්නේ මහා භාණ්ඩාගාරයටයි. මේ පියවර විසින් ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට තිබෙන සියලූ මං අහුරා තිබෙනවා.

තේ නැවත වගා කිරීම, අලූත් වගාවක් ඇරඹීම, තේ වතු සංරක්‍ෂණය, පාංශු සංරක්‍ෂණය, කුඩා තේ වතු හිමියන් සඳහා අවශ්‍ය තේ කම්හල් ඇරඹීම, කුඩා තේ වතු හිමියන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය යන සියලූ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළේ ඉහත කී සෙස් බද්ද හරහා ලැබුණු මුදලින්. මෙම සෙස් බද්ද මහා භාණ්ඩාගාරය යටතට පවරා ගත්තාට පසුව කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සැපයීම ඇතුළු ඉහත සියලූ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ සිදු කෙරෙන ඒවා බවට පත්වෙලා තිබෙනවා.

එසේ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සැපයීම භාණ්ඩාගාරය යටතට පත් වූවාට පසුව එම කටයුත්ත ක‍්‍රම ක‍්‍රමයෙන් බිඳ වැටුණා. අද වන විට එම කටයුත්ත මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. අක්කරයට තේ පැල 5,000ක් පමණ අවශ්‍ය වෙනවා. ගොවියා බිම් සකස් කරලා සහනාධාර ලැබෙන තෙක් බලා ඉන්නවා. නමුත් වියලි කාලගුණය එන තෙක් තේ පැල ටික ලැබෙන්නේ නැහැ. භාණ්ඩාගාරයේ මුදල් නැහැ කියලා නිසි වෙලාවට තේ ගොවියාට සහනාධාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද තේ ගොවියා තමන්ගේ අතේ තිබුණු මුදල වියදම් කර ගෙන සහනාධාර ලැබෙන තෙක් බලා සිටිනවා. අද කුඩා තේ වතු හිමියාට සිදු වී ඇත්තේ ‘වත්ත බද්දට දී ඇස්සට දත නියැවීමටයි. ඒ නිසා මේ සෙස් බදු අරමුදල මහා භාණ්ඩාගාරයට පවරා ගැනීමත් සමග තේ කර්මාන්ත න`ගා සිටුවීම සඳහා වූ සියලූ අංශ බිඳ වැටී තිබෙනවා.

ඒ විතරක් නොවෙයි පසුගිය වසරේ අය – වැයෙන් තේ අක්කරයකට රුපියල් 5,000ක සහනාධාරයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කළා. ඒ මුදල පාංශු සංරක්‍ෂණය හා ගල් වැටි දැමීම වෙනුවෙන් තමයි ලබා දීමට තීරණය කළේ. දැන් මේ මුදලින් වරකට ලැබෙන්නේ රුපියල් 2500යි. ඉතිරි මුදල ලබා ගන්න අවුරුද්දක් බලා ඉන්න ඕනෙ. අක්කරයට රුපියල් 2500ක් හැරෙන්නවත් මදි. අද ශ‍්‍රමිකයකුට දිනකට රුපියල් 1200ක් ලබා දීමට සිදුව තිබෙනවා. ඒ අනුව මේ මුදල ශ‍්‍රමිකයකුට දින දෙකක වැටුප් ගෙවීමට පමණයි ප‍්‍රමාණවත්.

තේ අපනයනයෙන් ලත් සෙස් බදු අරමුදල වෙනත් කාර්යයන් සඳහා යෙද වූ මහා භාණ්ඩාගාරයේ ආර්ථික ඝාතකයන් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් කාටත් අත නොපා ජීවත් වූ කුඩා තේ වතු හිමියා අද හිගන්නෙක් බවට පත් කොට තිබෙනවා. මේ දෙස ඇස් හැර බලන ලෙස අපි ආණ්ඩුවෙන් සහ වැවිලි කර්මාන්ත ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඇමතිවරයා අද මේ බරපතළ ගැටලූව ගැන ‘හාං කවිසියක් නැතිවා[ වගේ කුඩා තේ වතු හිමියන්ට රුපියල් 2500ක චෙක්පතක් බෙදමින් යනවා. මේ චෙක්පත ගන්න වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ප‍්‍රාදේශීය කාර්යාලයට යන්න ඕනෙ. ගමන් වියදම්, ‘චෙක් කොළයට’ රුපියල් 15ක් ආදී වශයෙන් වියදම් දරා ගෙන ඒ ප‍්‍රාදේශීය කාර්යාලයේදී තේ ගොවියාට මේ චෙක්පත ඇමතිතුමා අතින් ගන්න වෙලා තියෙනවා. අපි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ විදියේ නිර්ලජ්ජිත වැඩ කරන්න එපා කියලා.

මේ විදියට රුපියල් 2500ක සහනධාරයක් දීලා තේ ගොවියා රැවටීම ඉතා බරපතළ වැරැද්දක්. කුඩා තේ වතු හිමියා ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ කෙනෙක්. ඔවුන් ගමේ රජවරුන් ලෙසයි හිටියේ. ඔවුන් රස්සා, සහනාධාර ඉල්ලූවේ නැහැ. ඔවුන් ඉල්ලූවේ පාරවල්, විදුලි බලය වැනි යටිතල පහසුකම් විතරයි. තේ සඳහා වූ සෙස් බදු අරමුදල මහා භාණ්ඩාගාරයට ලබා ගැනීමේ මේ ආර්ථික ඝාතක නිලධාරීන්ගේ තීරණය නිසා ඒ පිරිසගේ ආර්ථික හැකියාව මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. මේ රටට විදේශ විනිමය ලබා දුන් ප‍්‍රධානතම මධ්‍යයක් බිඳ වට්ටවා එමගින් ආර්ථිකය සවිමත් කර ගත් පිරිසක් අද හි`ගන්නන් බවට පත් කිරීමට මේ ආර්ථික ඝාතකයෝ සමත් වෙලා තිබෙනවා.

ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය හා මාතලේ යන දිස්ත‍්‍රික්කවල ලක්‍ෂ සංඛ්‍යාත කුඩා තේ වතු හිමියන් පිරිසක් මේ ආර්ථික ඝාතක පියවර මගින් අසරණ වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව යෝජනා කරනවා ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ නව මාර්ග පිළිබඳව. අපි ඉල්ලා සිටින්නේ ඊට පෙර මේ ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ කුඩා තේ වතු හිමියන්ගේ ගැටලූවට වහා විසඳුම් ලබා දෙන්න කියලයි.

තේ නිෂ්පාදනය හා බැඳුණු ඊළග ගැටළුව තමයි, තේ ශක්ති අරමුදල සහමුලින්ම විනාශ කොට දැමීම. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා තේ ශක්ති අරමුදලත් කුඩා තේ වතු හිමියාත් රැක ගැනීමට අදාළ කඩිනම් පියවර ගන්න කියලා.’

මෙහිදී අදහස් දැක් වූ කුඩා තේ වතු හිමියන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සරත් තෙන්නකෝන් මහතා,

‘තේ ශක්ති අරමුදලට කුමක්ද, අද සිදුව තියෙන්නේ. අපි කුඩා තේ වතු හිමියන්ගේ එකමුතුව ලෙස ප‍්‍රථමයෙන් ආණ්ඩුවට ඒ ප‍්‍රශ්නය යොමු කර සිටිනවා. 2001දී තේ ශක්ති අරමුදල ඇති කරන කොට තේ ගොවියන් 98,000ක් කොටස් හිමියන් ලෙස ඊට දායක වූවා. එසේ එකතු වූ මුදල රුපියල් මිලියන 208ක්. නව තේ කර්මාන්තශාලා ඇරඹීම, තේ ගොවියාට ට‍්‍රැක්ටර් ලබා දීම, තේ පොහොර සහනාධාරයක් ලබා දීම, තේ අපනයනය වැඩි කිරීම ආදී බොහෝ සුරංගනා කතා කියමින් තමයි මේ තේ ශක්ති අරමුදල පටන් ගත්තේ.

අහිංසක තේ ගොවියන්ගේ මුදලින් තමයි මේ තේ ශක්ති අරමුදල තර වුණේ. කාටත් අත නොපා ජීවත් වූ අපි දුක සේ උපයා ගත් මුදල් තමයි මේ තේ ශක්ති අරමුදලට ඇද ගත්තේ. අපට ලාභාංශ ගෙවනවා කියා අපි දිගින් දිගටම රැුවටීමට ලක් කළා. ගෙවී ගිය වසර 13ටම තුන් වරක් පමණක් ලාභාංශ ගෙවා තිබෙනවා. එහෙත් කිසිදු විධිමත් ගණනය කිරීමකින් තොරවයි මේ ලාභාංශ ගෙවීම සිදු වූයේ. එක්වරක් 10%ක්ද, දෙවන වර 10%ක්ද 2007ට අදාළ ලාභාංශ ලෙස 2009දී 15%ක්ද ආදී වශයෙන් ඉතා නොපැහැදිලි, විනිවිදභාවයකින් තොර ආකාරයකට තමයි මෙසේ තෙවරකදී ලාභාංශ ගෙවනු ලැබුවේ.

අද තේ ගොවියන් ඉල්ලන්නේ, ‘අපට ලාභාංශ එපා අපට තේ ශක්ති අරමුදල ගැන කිසිදු විශ්වාසයක් නැහැ. අපේ කොටස් මුදල් ටිකවත් ආපසු ලබාදෙන්න’ කියලයි. අපි යළි ආණ්ඩුවෙන් ඉල්ලනවා, තේ ශක්ති අරමුදලට සිදු වූයේ කුමක්දැයි රට හමුවේ පවසන ලෙස. අපේ මේ ගැටලූවට පිළියම් නොයෙදුවොත් අපි හෙට දිනයේදී කුඩා තේ වතු හිමියන්ගේ එකමුතුව ලෙස දැවැන්ත උද්ඝෝෂණයකට සූදානම්’

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කුඩා තේ වතු හිමියන්ගේ එකමුතුවේ නීති උපදේශක චමින්ද මහානාම මහතා,

‘තේ ගොවියන් 98,000ක් රුපියල් මිලියන 208ක් තේ ශක්ති අරමුදලට ආයෝජනය කර තිබෙනවා. ඉතාමත් අවිධිමත්, විනිවිද නොපෙනෙන ආකාරයට අවස්ථා තුනකදී පමණක් ලාභාංශ ගෙවා තිබුණා. මෙසේ වාර තුනකදී ලාභාංශ ගෙවා ඇත්තේ තේ ගොවියන්ගේ උද්ඝෝෂණ හමුවේ ‘පැලැස්තර විසඳුමක්’ ලෙසටයි. මේ තේ ශක්ති අරමුදල විධිමත් ආකාරයෙන් විගණනයට ලක් කරලා මේ කොටස් හිමියන් 98,000ට නීත්‍යනුකූලව හිමි විය යුතු නිවැරදි ලාභාංශය ගෙවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. ඒ වගේම තේ ගොවියන්ගේ විශාල ඉල්ලීමක් තිබෙනවා තේ ශක්ති අරමුදල කෙරෙහි ඇති තමන්ගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා කොටස් මුදල් යළි ලබා දෙන්න කියලා. අපි ආණ්ඩුවෙන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ‘කොටස් හිමියන්ට නීත්‍යනුකූලව හිමි විය යුතු ලාභාංශය ගෙවන්න, ඒ වගේම ඔවුන් ඉල්ලා සිටින පරිදි ඔවුන්ගේ කොටස් මුදල් යළි ගෙවන්න’ කියලා.

එසේ නොකළොත් අපට අකැමැත්තෙන් වුවත් සිද්ධ වෙනවා, අධිකරණය හමුවට යාමට. තේ ශක්ති අරමුදලේ කොටස් හිමිකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපි කිසිවිටකත් පැකිළෙන්නේ නැහැ’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...